ජනක රත්නායක

පෙට්‍රල් මිල තව අඩු කළ හැකි අයුරු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පෙන්වා දේ

"

ඊයේ රාත්‍රියේදී රුපියල් 20කින් පෙට්‍රල් මිල පහළ දැම්මා. මා විසින් මීට සති දෙකකට පෙර පෙන්වා දී තිබුණා පෙට්‍රල්.... ලීටරයක මිල රුපියල් 150කින් අඩු කළ හැකි බව.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය | ජූලි 18, 2022

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

ජූලි 17 වැනි දින ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වූ අතර එම අවස්ථාවේදී ඉන්ධන මිල රු. 20 න් පහත දමන ලදි. එනමුත්, ඉන්ධන මිල රු. 20 න් නොව රු. 150 න් අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක විසින් ප්‍රකාශ කරන ලදි. ඔහු විසින් සිදු කරන ලද එම ප්‍රකාශයේ සඳහන් පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 320 (470-150) අලෙවි කිරීමේ හැකියාව පවතී. 

ඉහත සඳහන් කරුණෙහි සත්‍යාසත්‍යභාවය ඇගයීම සඳහා FactCheck.lk විසින් 2018 වසරේ මුදල් අමාත්‍යාංශය විසින් සකසන ලද ඉන්ධන මිල සූත්‍රය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අනෙකුත් දත්ත පරිශීලනය කර ඇත. ඉන්ධන මිල සූත්‍රය මගින්, රජයට ගෙවන බදු ඇතුළු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැරීමට සිදු වන සියලු පිරිවැය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙන අයුරින් ඉන්ධන මිල ජනනය කෙරේ. ප්‍රවේශ විය හැකි දත්ත සීමා වීම හේතුවෙන් පෙට්‍රල් මිල පමණක් මෙම කරුණු පිරික්සීම තුළින් ඇගයීමට ලක් කර ඇත. 

ජූලි 17 වැනිදා වන විට ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රු. 470 ක් ලෙස පැවතීමට නම් ඉන්ධන බැරලයක ආනයන මිල එ.ජ.ඩොලර් 160 ක් (ලීටරයක මිල එ.ජ.ඩොලර් 1 ක් පමණ) විය යුතු බව ඉන්ධන මිල සූත්‍රය යෙදීමෙන් පෙනී යයි (ප්‍රදර්ශිතය 1 බලන්න). මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිතුමන් පවසන පරිදි පෙට්‍රල් ලීටරයක් රු. 320 ට අලෙවි කිරීමට නම්, ශ්‍රී ලංකාව ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක් එ.ජ.ඩොලර් 105 ට නොවැඩි මිලකට ආනයනය කළ යුතු අතර රුපියල්වලින් ගත් විට ලීටරයක මිල එවිට රු. 237 ක් පමණ වනු ඇත. 

තමා ප්‍රකාශය සඳහා පදනම් වූ රේගු ප්‍රකාශන ලියවිලි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිතුමන් විසින් කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) වෙත භාර දෙන ලදි. මින් ඇතැම් ලියවිලි FactCheck.lk වෙත ලැබුණු අතර FactCheck.lk වේදිකාව තුළින් ඒ වෙත පිවිසිය හැක. ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක් එ.ජ.ඩොලර් 105 ට වඩා අඩු මුදලකට ආනයනය කර ඇති බව එම ලේඛන මගින් පෙන්වා දේ (ප්‍රදර්ශිතය 2 බලන්න). එබැවින්, පෙට්‍රල් ලීටරයක් රු. 320 ට වඩා අඩු මිලකට අලෙවි කළ හැකි බව ආනයන මිලට සූත්රය යෙදීමෙන් පෙනී යයි (සූත්‍රය ඇසුරින් මෙම ගණනය කිරීම සිදු කිරීමේදී සියලුම පිරිවැය සහ බදු ඊට ඇතුළත් කෙරේ). 

එබැවින්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විසින් සිදු කරන ලද ප්‍රකාශය නිවැරදි යැයි අපි වර්ගීකරණය කරන්නෙමු.  

*FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අංක 1 ප්‍රදර්ශිතය: ඔක්ටේන් 92 පෙට්‍රල් රු. 320 ට විකිණීම සඳහා තිබිය යුතු උපරිම ආනයන මිල

මූලාශ්‍රය: 2018 වසරේ මුදල් අමාත්‍යාංශය විසින් සකසන ලද ඉන්ධන මිල සූත්‍රය

 

අංක 2 ප්‍රදර්ශිතය: ඉන්ධන සඳහා සැබෑ ආනයන පිරිවැය

මූලාශ්‍රය: FactCheck.lk වෙත ලැබුණු රේගු ප්‍රකාශන ලියවිලි

 



Additional Note

සටහන: ඉන්ධන සඳහා ආනයන වියදම සිංගප්පූරු ප්ලැට්ස් මිලට සමාන බව සූත්‍රයේ සම්මත භාවිතයේදී උපකල්පනය කෙරෙන අතර අමාත්‍ය කාංචන විජේසේකරගේ ප්‍රකාශය නිවැරදි යැයි නිගමනය කිරීම සඳහා මෙම කරුණ පදනම් විය ( https://factcheck.lk/si/factcheck/minister-wijesekera-not-at-a-loss-on-fuel-price-revisions-2/ ). එහෙත්, මෙම කරුණු පිරික්සීම සිදු කිරීමේදී ඉන්ධන ආනයනයේ පිරිවැය ලෙසින් ඉන් අනතුරුව අනාවරණය කරන ලද සැබෑ මිල ගණන් යොද ගෙන ඇත. 


මූලාශ්‍රය

ඉන්ධන මිල ට්‍රැකරය සඳහා සූත්‍රය https://publicfinance.lk/en/topics/fuel-price-tracker-1653909188 වෙතින් ලබා ගත හැකිය [අවසන් වරට ප්‍රවේශය: 2022 අගෝස්තු 2] 

මුදල් අමාත්‍යාංශය, (2018 ඔක්තෝබර් 16) මාධ්‍ය නිවේදනය, www.treasury.gov.lk/documents/10181/606187/PRESS+RELEASE+-+Fuel+Formula20181016/acd8b96e-fae4-46b96e-fae4-46b5-ae3016/acd8b96e-fae4-46b5-ae306080000 [අවසන් වරට ප්‍රවේශය: 2020 මාර්තු 24] 

FactCheck.lk වෙත ලැබුණු රේගු ප්‍රකාශන ලියවිලි https://mcusercontent.com/7dec08f7f8b599c6b421dfd10/files/172e38fc-4d3c-aaf4-2081-3da3f738050b/2020b/2020 [අවසන් වරට ප්‍රවේශය: 2022 අගෝස්තු 3] 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, මාධ්‍ය නිවේදනය (2022 ජූලි 18), https://www.pucsl.gov.lk/proper-fuel-price-formula-2022-07-18/ [අවසන් වරට ප්‍රවේශය: 2022 අගෝස්තු 3]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.